Friday, November 30, 2012

යලි එන්නෙපා




නිසල දිවි මං තලේ 
සසල මොහොතක හොරෙන් 
නුඹයි  පියමන් කළේ 
සිහින පොකුරක් අරන් 

සසල දිවි සිඳු පෙළා  
චණ්ඩ රළ නංවමින් 
නුඹම අගමන් කළා  
සදිසි සුලියක සිරින් 

කිසිදු පැතුමන් නොවේ 
යලිදු  ඔබ  එන්නෙපා
සරන බවයෙන් බවේ 
මතුදු හමු වන්නෙපා 


පවනක් ලෙසින්



දකින සිහිනේ පවා 
අඳුරු තිමිරෙන් වසා 
සිතැඟි සුසුමින් දවා 
සකල හැඟුමන් නසා 

මිරිඟු සයුරක් මවා 
සිහින අහුරක් නසා 
කඳුළු ලිය කම් මවා 
පැතුම් කැටයම් වසා 

නෙතඟ කඳුලින් දොවා 
රුදුරු  වෙස් ගෙන හමා 
ළසෝ ගිනි දැල් මවා 
ගියෙද පවනක්  නියා 


Monday, November 26, 2012

දුරින් රැඳෙන සඳ




විලක් නොවෙමින් ළඟ රැඳෙන
ගඟක් වුණි කිම  ගලා යන
මලක් නොවෙමින් සුවඳ දෙන
තුඩක් වුණි කිම විස රැඳුණ
සිතක් පෙළමින් සිතක් නිවමින්
පෙමක් පිරුවේ නුඹ කෝම
යලිදු පැතුමන් නොවේ පෙර මෙන්
දුරයි නුඹ සිතිජය සේම




Friday, November 23, 2012

විකසිත සෙනේ



නුඹේ නෙතු කැන් පුරා      
ආදරේ සැඟවිලා   
විඩාබර මුව පුරා 
සිනා කැන් විසිරිලා ........
කුලුණුබර නෙතක් ළඟ 
නැගේ හද  පිබිදිලා   
සෙනේබර සිතක් ළඟ 
සිත මගේ ගොළු වෙලා ..........
ළඟ රැඳෙන ඔය වතේ 
රහසක් සැඟවිලා  
නුඹ නමින් මා  සිතේ  
සෙනේ විකසිත වෙලා .........


විමසුම



අතීතෙට හිමි මතක සැමරුම්   
විමසමින් සිත පාරනා 
සිතක මහිමය දැනෙන රිදවුම් 
නොදත් බැව් නුඹ වැටහුණා 

මතක නංවනු අරුති පෙර පිළි
යලි යලිදු  සිත කළඹනා 
නුඹ නගන පැන අබිමුවේ මා 
නෙක වරක් අසරණ වුණා  

මටත් නොකියම මගේ සිතුවිලි 
නුඹට බෝ ලෙන්ගතු වුණා
සිත් කොනෙක රැඳි දුබල සිතිවිලි 
නුඹම පෙලතැයි නොසිතුණා 


සතුට එන තුරා


පෙම් බැඳි කඳුලට 
සමු දුන් තරු නෙතු
නුඹ දැක ගන්නට 
පෙරුම් පුරයි මතු 

උණුසුම විඳිනට 
තුරුලුව නුඹ වෙත 
සම වැද දැහැනට 
                                    පැතුම් පුරයි සිත 


Thursday, November 22, 2012

නික්ම යාම



රැක නිතින්  රිදවුම් දරා 
නෙතු ඉමෙන් දුර යා නොදී 
ඉවසුමෙන් ලතැවුල් දරා 
පැතූ පැතුමන් සුන් වුණී 

නුඹ නමින් මා හද පුරා 
නොතින් මල් විකසිත වුණි
පිළිවදන් නැති පැන අරා  
පෙති සැලී මල්  විසිරුණි 

නෙක වරක් මග හැර දමා  
පලා ගිය බැව් සිහි වුණී 
ආදරේ මගෙ වැඩිද මන්දා 
                                    නුඹම සිත බිඳ නික්මුණි 

Wednesday, November 21, 2012

මතු හිමි වන තෙක්





කඳුලට සමු දෙමි 
පෙම් බැඳි මෙතුවක් 
බලා හිඳින්නෙමි
කල්ප කාලයක්  

නෙතු නොපියන්නෙමි 
රුව ගැටෙනා තෙක් 
සවන් යොවන්නෙමි
හඬ නැගෙනා තෙක් 

පසු පස එන්නෙමි 
නෙතු පියෙනා තෙක්  
නුඹම පතන්නෙමි 
මතු හිමි වන තෙක්  

ගීයක් වගේ මේ ජිවිතේ



කෝල සිත මනහර  
සංකල්පනාවන්  
මුසු වී ඇදේ දුර 
පවනේ සෙමින්  

මුමුණනු ඇසේ නල 
සුමියුරු සරින් 
තනුවක වෙලී එය 
ගීයක් ලෙසින් 

සුසරව හඬයි හද  
සබැඳුණු  ලයෙන් 
ගලා යයි ජීවිතය
තත්සර මැදින් 


නෙත් නොහරිමි



නිශා යම තනි රකින 
සිහින පිරි ඔය දෑස
නගන මුදු නෙතු කැල්ම 
මග හැර යමි කෙලෙස 

සිත වසා  ඉකි බිඳින 
රිදුම් දෙන මතකය
බිඳ දමා ඔය දැහැන 
පවසමි මා  කෙලෙස 

සිත් තොසින් මා විඳින
සොඳුරු සුවබර මොහොත
සුව පිණිස මතු දින 
හැර යන්නෙම් කෙලෙස  

 ඔය දෑස රජ කරන 
සිහිනය මා දකින 
බිඳ දමා පිණි ලෙසින
අවදි වන්නෙම් කෙලෙස 


Tuesday, November 20, 2012

රහසක්




අඳුරට තනි රකින 
නුබ දිලෙන තරු පෙළ
පවසමින් ඉඟි මරන
රහසක් වේ අමිල  

සිව් දෙසින් ඇදී එන 
මදනල ගතේ දැවටෙන 
සිප වැළඳ පවසන 
රහසක් වේය සැඟවුන   

රැඳුණ ගිරි මුදුනත  
සුපුන් සඳ උවනත
කොඳුරා කියන සවනත 
රහස නුඹමය හිතවත 


Thursday, November 15, 2012

නුඹේ ආදරේ



රළු සිතින් නුඹ පතන 
අරුමැති සෙනෙහසකි 
වදනකුදු නොවරදින 
සෙනෙහස ද  අරුමයකි 

නිබඳ රිදවන මසිත 
නුඹ වරෙක සිහිනයකි 
නුඹ වෙතම බැඳෙන සිත 
මට මහත් පුදුමයකි 

නුඹට පිදු  කුලුඳුලින් 
පෙම මට මහමෙරකි 
සඟවන පෙම් හැඟුම් 
නුඹ වේදනාවකි
                                    


තනි රකින හිතක්





මසු සොයා කරදියේ 
සරි කරන දිවි පෙවෙත 
පියාණන් අබිමුවේ 
තනි රකින පුංචි හිත

පත පොතට සිඟිති අත් 
කෙලෙස රළු වැඩි වුණිද 
දෑත් යුග යොත් බරින් 
රිදුම් දෙන්නේ නොවෙද

පිය සිතක  නැගෙන ගිනි 
දිවැසින් දකිනවද 
මතු භවෙක බුදු වන්න 
පෙරුමන් පුරනවද