Thursday, March 28, 2013

නුඹ නමින් (නොවේ)





සිහිනයක් වගෙයි නෙතු අග
සැබෑවක් නොවේ
නුඹම විත් නුඹම යන බැව්
වැටහුනා නොවේ
කඳුලු බිඳු නැගෙයි එනමුදු
නුඹ නමින් නොවේ
රිදුනු සිත යලිදු රිදවන
නුඹ නමින් නොවේ

පබැඳි එකදු කවි පදයක්
නුඹ නමින් නොවේ
සිහින පුරමි ඒ සිහිනයෙ
කුමරු නුඹ නොවේ
නුඹට බැඳුනු සිත රැවටී
තනි වුනා නොවේ
මහද සෙනේ නුඹ හට
නොම වැටහුනා නොවේ

කඳුලු බින්ඳු මගෙ දෑසට
අරුමයක් නොවේ
නුඹ තනි කර සිත ඈතට
ඉගිලුනා නොවේ
වරදවා අරුත් ගෙන සිත
රැවටුනා නොවේ
නුඹට මෙන් සෙලින් කල දැඩි 
සිතක් මට නොවේ




Saturday, March 23, 2013

නොකරමි චෝදනා




කෙමි අගින් පත් විදා
රොන් සොයා එන තුරා
මග බැලූ නෙතු අයා
කොමුද මල් මත සරා

මධු උරා පෙළ නසා
දසත රොන් සුණු විදා
සමනලුන් යා නම්
කොමුද රිදවා පියා

නැත කිසිදු චෝදනා
දෙනෙත් පියෙනා තුරා
නුඹත් දුර යා නම්
මසිත රිදවා පෙළා




නුඹේ සිනා




රැව් නංවා නුඹේ සිනා
හඬා වැටෙන කඳු යායේ
සිනා නදින් රොන් පුරනා
මිලාන මල් පියලි සැලේ

පත් අතුරින් කඳුලු ගලා
කඳු මුවාව ඉස්මත්තේ
නුඹේ නමින් රැලි නගනා
සෝ දියඹට එක්ව ගියේ



දුරක යන නුඹ




කප් කලෙක පෙරුමන් පියා 
පිදු සෙනේ මුදු වැඩි නියා 
බිඳු කඳුළු නයනග තියා
දුරින් නුඹ පියමැන ගියා

බිඳී වැළපුණි ඉවුර නොමදැන 
සසල සිත්විල නීල දියවර 
චපල සිත නුබෙ රැඟුම් නොහැඳින 
මංමුලා විය සිත දහස්වර 

තරුව වෙම් මා  මංමුලා වූ 
රහස් සැඟවුන  නුබ ගැබේ  
තරු පොකුරු මැද හිනැහුණා වූ 
සඳක් නුඹ අමවක රැයේ 



Wednesday, March 20, 2013

ඇය සහ නුඹ





රෑ සඳට තරුවක් වෙලා
ගනදුර පහනක් වෙලා
හිඳිනු මට තව ළං වෙලා
ජීවිතේ මගෙ නුඹ වෙලා

මැදියමේ සුව සිහිනයේ
ඇවිද යයි සුරතේ වෙලී
නෙතු හැරී පිබිදෙන පැයේ
ඇය හිඳී පපුතුර වෙලී

කතර මැද ගිම්හානයේ
නුඹ ඇදේ සුරඟනක සේ
ලංවුනත් නොසිතුව ලෙසේ
පලා එමි හැර කෙසේ



අවරට ගිය හිරු




කරමින් ලොවක් එකලෙව්
බැස ගියද අද දින
හෙටත් යලි දිලෙන බැව්
සංගතව හිඳින සඳ
ලෝ දම් අනියත බැව්
නොසිතුවෙද නුඹ අද
පසක් වූ දා එබැව්
නොම තැවෙන් මතු දින




පෙම් බැඳි ලන්ඳේ





දෑස හොරෙන් ඉකි බින්ඳේ
මුව ගොළු වී පිය මැන්නේ
සෙනේ පිරුනු පිය ලන්ඳේ
නුඹ නොමැතිය නෙතු මානේ

කෝල කතා ගොළු වුණාද
කඳුළු අහුරු ඉහිරුණාද
කඳුලින් නෙතු බොඳ වුණාද
සිහින බිඳී ඉහිරුණාද

සිනා පිරුනු පෙර දිනයේ
මුවාසිරිය වනනු කෙසේ
කඳුලු එපා බැඳි සෙනෙහේ
නුඹ නැති සඳ මා තනියේ



Wednesday, March 6, 2013

සොයුරියේ...




සීත හිරි පොද මැදින්
ගතේ හිරි ගඩු පිපෙන
පාළු ගනදුර මතින්
දැවෙන ගිනි දැල් නිවන

ඈත හුලු කිරණකට
අඳුරේ අත වනන
විහිත එලි මුවාවට
දාවලින් සැඟවෙන

මගට බර නෙතු අගින්
කඳුලු කැටි මිටි කරන
අඳුරු ලිය මුවාවෙන්
එබෙන සේයා උවන