Friday, April 26, 2013

ආදරේ



රූ රැස් අඳින හිරු ලතා
පෙරඹර නැගෙයි ආදරේ
පවනට සැලෙන පත් ලතා
පද වැල් ගොතයි ආදරේ
තුරු වට එතෙන මල් ලතා
මුමුණා කියයි ආදරේ
සිත ලඟ රඟන නෙතු ලතා
නෙතඟක සොයයි ආදරේ




Monday, April 15, 2013

නොදත් කිවිඳුන්



සිකර කඳු සිසාරා
සප්ත සර රැව් නගන
නිලඹර පත් සලා
සියොතුනේ ඇදී යන

දින මුවේ මියුලැසින්
දනෝ නෙතු පුබුදන
කවුරුන්ද කිවිඳුන්
සියොත් ගී පබඳින

සිංගාර වෙණ නදින්
මධුර තනුවෙකි වැයෙන
බොහෝ වෙද සුරුවන්
තුන් ලයෙන් ස්වර නගන




Saturday, April 13, 2013

මට කියන්න




සඳ මඩල නුඹ කියාපන්
ලොවට මගෙ ගනදුර කොහෙන් 
දිය බුබුල නුඹ කියාපන්
නෙතට මගෙ කඳුලැල් කොහෙන්

වැසි දෙවිඳ නුඹ නිවාපන්
ළසෝ ලැව් ඇවිලේ තදින්
මද පවන සිසිලක් වෙයන්
එසිත බෝ වියලි ගොසින්

පළා යයි නුඹ අදත් පෙර මෙන්
කඳුල පමනෙකි ළඟ එදා මෙන්
අතීතය ලඟ පිරූ පෙරුමන්
සිහිනයක් විද ? කඳුලු කර දුන්



නපුරු සිහිනය




සෙයාරූ දුර මාවතේ
බොඳව යයි නෙතු මානයේ
කඳුලු අහුරකි ආදරේ
විමන් බිඳි එක හීනයේ

නුඹම මැව් රූ යා නොදේ
ඔත්පලව සිත වා බිඳේ
සැඩ සුළං මැද ආදරේ
සිහින මන්දිර බිතු සැලේ

සාදු වෙස් බැඳි රස් වනේ
අසිරි සඟවා නෙතු ඉමේ
අනත රජයන සිත් කොනේ
නපුරු සිහිනෙකි ආදරේ