Wednesday, February 27, 2013

යළි හමු වෙමු




ඉතින් අපි හමු වෙමු
වරක් යළි හෙට දින
වෙන්ව යන්නට පලමු
ගං දෑල අසබඩ…..
පැනි කුරුළු නද මතුල
විසල් බට උණ පඳුර
අපෙ මතකය විසුල
අත වනයි අතීතෙට….
ගං දෑල නිසසලය
මද නල අවනතය
කරුණ කිම සසැලෙන
සිතුවිලි සයුර නුඹ…..


Thursday, February 21, 2013

අකල් වැස්ස




උයන පිරි මල් සලා
සමනලුන් ඉඟි කළා
කටු තුඩින් මුව වසා
සෙනේ සිතුවම් කළා

පාව මේ කුලින්
කාල නුබ සැරසුණා
අකලට මහා වැහි
වැටෙන බැව් සිහි වුණා

තෙමා පෙති සියුමැලි
වැහි බින්ඳු විසිරුණා 
බැතිබර මල් පියලි
පින් පාට සේදුණා



නාඳුනන සෙනෙහස




උයන් කොන
නදී තෙර
වෙරළ ඉම
නාඳුනන

සිඳුනු අරුතින්
බිඳුනු බැඳුමින්
සළෙල යදමින්
එක්ව පෑහෙන

සිතක් නිති අයදින
සිතක් පිළිකෙව් කරන  
අයෙක් වෙති නූතන
සෙනෙහස නාඳුනන



Tuesday, February 19, 2013

අහිමි




දිලෙන නිවෙන තරු රෑ අහසේ
දිවා නුබට අහිමී
පිපෙන මියෙන සපුමල් වදුලේ
සුවඳ රැයට අහිමී

එක්ව නැගූ සුන්දර සිහිනේ
නුඹට මටද අහිමී
නුඹම සොයන රෑ තුන් යාමේ
මසිත මටම අහිමී

නැගෙන බිඳෙන රළ පෙල ගානේ
සයුරු ගැඹුර සැඟවේ
බසින නගින හිරු සඳු ගානේ
දිවිය තෙරට ළංවේ

එබී හිඳින සඳ නුඹ සිහිනෙන්
සුවැති සිහින බොඳ වේ
නුඹේ සුවඳ රැඳි ඒ මතකෙන්
මගේ ලොවම ඇවිලේ

සරුංගලය




සුළං සැරට උජාරුවට
ඇදී යනව නුඹ ඈතට
අහසක් වී පුංචි හිතට
දුන් පොරොන්දු මහ ඉහලට

නුඹ යන මග හුරතලයට
බලා හිඳින පුතු දෑසට
නෑ වෙහෙසක් පුංචිකමට
නූල රැඳුනු සිඟිති අතට

සවිමත් නැති සිඟිති අතට
රිදවා නුඹ යයි ඈතට
අයිතිය ගෙන මගේ පුතුට
එපා දිනෙක යලි එන්නට