Sunday, November 17, 2013

අවැසි නම් ඔබ යන්න











මලක් සේ දම් හෙන්දිරික්කා
රැයේ පිබිදී මිලින වී යන
අසුරු සැණෙකින් නිමා නොවනා
සෙනේ සිතිවිලි හදේ ඉපැදෙන.....

වැහි ළිහිනි මෙන් සරන ගගනත
පෙරාතුව මේ නිමිති ගෙන එන
නොදැනුණා එක එකම වරකුදු
ළඟ ලඟම බැව් නුඹේ අගමන......

කඩොළු නොමැතිය යනෙන මග තොට
අවැසි නම් නුඹ යන්න සිතු ලෙස
කපන ඉණි මෙන් ගලන ගඟකට
දනිම් අවුරා පලක් නැති බව......


මග බලයි සිත හොරෙන්


පවනේ රැඳෙන් හමනා
සුවඳක් ලෙසින්
හද විල පිපෙන් සැමදා
පියුමක් ලෙසින්
මතකය අපේ කිසිදා
රිදුමක් නොවෙන්
සමුගෙන ගියත් පෙරදා
නොසිතූ ලෙසින්

පියමං කළත් දෙදෙනා
නොහැඳිනු ලෙසින්
වදනකදු නොදොඩා
ගොළු වූ ලෙසින්
හද සෙනේ සඟවා
විරසක ලෙසින්
අපිම සිත් රවටා
සැඟවෙමු අපෙන්

හඬන සඳ ඉකිලමින්
තුන් තිස් පැයේ
ඔය සිත ද අවදියෙන්
ඉකිලනු ඇසේ
වෙන් වෙමු ද රවටමින්
සිතිවිලි අපේ
මග බලයි සිත හොරෙන්
මම ද නුඹ සේ