Wednesday, July 27, 2022

මිතුරියේ


නුඹට නොදැනෙන

නුඹ නමින් බැඳි..

මහද රිදවන 

රැයේ නිදි බිඳි..

ලොවෙන් සඟවන

මිතුරු දම් බැඳි

කියම් කෙලෙසක

සෙනේ හද රැඳි..

Monday, April 25, 2022

නමක් නැති

මගේ වෙන්නෙත් නැතී

දමා යන්නත් බැරී

බැඳීමක් ඇති නම නැතී

නිබද මුව හසරැල් පිරී

 

හිතේ ගැඹුරක මග හැරී

කලක සිට සුරැකිව ඇතී

දුරට නොගියද සිත පිරී

ගැඹුරු නැති මතකය ඇතී

 

දෑත් බැඳ නතරව නැතී

හිඳී සිත ලඟ ගැටි ගැටී

ලඟින් නැතිමුත් තනි නැතී

එපා වෙන්නෙත් නැති හැටී





Friday, April 22, 2022

ගිරවියට පෙම් බැඳ


ගොදුරු ගෙන, කැදැල්ලට

නිහඬ වක්කඩ ගාව

පියාඹන ඇසිල්ලට

ඉසිඹු ලද නිමේෂය


සංකාව දරා හිඳ 

හිරිවැටුන ලිහිණි සිත 

හෙමි හෙමින් කිති කවන

ගිරවියට සෙනේ බැඳ


පාලු රෑ කළුවරක 

කොළ සිදුණු ගිමන් කල

ගී ගයයි ලිහිණියක 

කොට්ට අතු පතර හිඳ


ලිහිණි බැමි සිඳ

සෙනේ පා ඇත

සිතු පැතුම් මැද

කඳුලු වැල් ඇත


ගිරවි යන දින

මුළු ලොවක් බිඳ

අහෝ ලිහිණිය

තනි නොවේවිද





Thursday, August 19, 2021

නවාතැන

 

එක්ව ආ දුරු මගේ

නැවතුමක් හමුවුණිද

සිත දැවුණ සුසානේ

තනිකමක් දැනෙනවද

 

ඉකිලන අඳුරු රැය

සෝ සුසුම් නගනවද

රැහැයි හඬ පරයාන ​

ඉකිබිඳුම්  ඇසෙනවද

 

අමාවක අහස් කුස

තනි තරුව පෙනෙනවද

සඳේ හීනෙන් ඇවිත්

ආදරෙයි කියනවද




Sunday, November 17, 2013

අවැසි නම් ඔබ යන්න











මලක් සේ දම් හෙන්දිරික්කා
රැයේ පිබිදී මිලින වී යන
අසුරු සැණෙකින් නිමා නොවනා
සෙනේ සිතිවිලි හදේ ඉපැදෙන.....

වැහි ළිහිනි මෙන් සරන ගගනත
පෙරාතුව මේ නිමිති ගෙන එන
නොදැනුණා එක එකම වරකුදු
ළඟ ලඟම බැව් නුඹේ අගමන......

කඩොළු නොමැතිය යනෙන මග තොට
අවැසි නම් නුඹ යන්න සිතු ලෙස
කපන ඉණි මෙන් ගලන ගඟකට
දනිම් අවුරා පලක් නැති බව......


මග බලයි සිත හොරෙන්


පවනේ රැඳෙන් හමනා
සුවඳක් ලෙසින්
හද විල පිපෙන් සැමදා
පියුමක් ලෙසින්
මතකය අපේ කිසිදා
රිදුමක් නොවෙන්
සමුගෙන ගියත් පෙරදා
නොසිතූ ලෙසින්

පියමං කළත් දෙදෙනා
නොහැඳිනු ලෙසින්
වදනකදු නොදොඩා
ගොළු වූ ලෙසින්
හද සෙනේ සඟවා
විරසක ලෙසින්
අපිම සිත් රවටා
සැඟවෙමු අපෙන්

හඬන සඳ ඉකිලමින්
තුන් තිස් පැයේ
ඔය සිත ද අවදියෙන්
ඉකිලනු ඇසේ
වෙන් වෙමු ද රවටමින්
සිතිවිලි අපේ
මග බලයි සිත හොරෙන්
මම ද නුඹ සේ


Saturday, October 5, 2013

දෙවිඳුනි




දිවැසින් බලන්නේ
පඬුපුල දැවෙන සඳ
ලෝ මැවූ දෙවින්ඳේ
දුක ඔබට දැනෙනවද


බිලිඳුන්ට මවු නොමැති
සීත හිම කැටිති කිම
නොපෙනෙන කුසක ගිනි
දිව බොදුන් මැවුණි කිම

ලෝ පුරා ඔබ මැවූ
නෙතඟ කඳුලැල් කිමද
සම පතා ඔබ යදින
සැමට ඔබ ගැති නොවෙද