Thursday, August 22, 2013

හිමි සඳුනේ මා රිදවන




හිමිකම් බැඳි රනින් පැළඳ
ගතින් රැඳී සිතින් බිඳුන
කඳුලු පිසින අන් ලිය'නග
හිමි සඳුනේ පෙලන මහද

සසල මසිත කීරි ගැසේ
සුසුම් හඬින් සීත රැයේ
නොපිලිගනිමි අඳුරු රැයේ
මුමුණන බස් ලොව රහසේ

තුන් තිස් පැය ඇගේ ලොවේ
සිහිනෙක නුඹ හිඳිනු දැනේ
හිඳිමි බලා ඉවසිල්ලේ
ඉම දක්නා තුරු සිහිනේ

විහඟ පත් බිඳී



ගලන කඳුලැල් රිදුනු නයනග
විහඟ සිතකට බර නොවේ
දිනෙක තෙත් බර මිලින මුව අග
සිනා මල් නොපිපුණි නොවේ

සිහින බිඳුණ ද අරුම දිවි මග
කඳුලු සයුරක හැඩ නොවේ
තුටින් පොපියන නවමු මං පෙත
දුරින් දුර රැඳුනා නොවේ

සැණින් මිලිනව සැඟව යන වග
නොදැන මග බැලුවා නොවේ
ඉගිල යන්නට සතුට සොයමින්
බිඳුනු පත් සවිමත් නොවේ