Wednesday, December 26, 2012

සඳේ හිනැහෙන්





වියෝ ගී අත්වැල් ගැයූ 
පුන් සඳේ මා තනි මැකූ 
නෑ සඳේ නෑ නුඹ ගියේ 
පාරවා සිත වගේ 

මේ කුලින් තරු සේදිලා 
ගගන සඳ නුඹ තනි වෙලා
මකා තනිකම ඈ නොමැති සඳ
රැඳී උනි නුඹ මගේ සිත ළඟ  

දල්වමින් යුග දිවි පහන් එලි 
 යලිදු ඈ ඇවිදින් 
නෑ තැවුල්  මා ලඟයි යලි 
රෑ සඳේ හිනැහෙන්


Tuesday, December 25, 2012

තරුවකට දුක කියමි





වසත් මල් පිපෙන තුරු 
සිටියමුදු මග බලන් 
සුවඳ විකසිත මහද 
ආදරේ ගුලි කරන් 

මල් උයන දැවී ගොස් 
ගිම්හාන උණුසුමින්
සිහින පොදි බිඳී ගොස් 
වසන්තය දුර ගිහින් 

ඉකි බිඳ නොහැඬු මුත් 
අඳුරු රැය මැදියම් 
රිදුනු බැව් මගෙ සිතත් 
තරුවකට කිව්ව මං 


Sunday, December 23, 2012

පවුරු මැදින්




පවුරු වලලු සුතුර රැසකි
වට කර නිති බැමි සදනා
නෙක අවමන් නින්දා වැසි   
කුල ගොත් සොයමින් පුරනා

අඩවන් නෙතු බැලුම් හෙලති 
නෙක වර මුදු සිත් රිදනා 
නොම ගිලිහෙන තිර බැඳුමකි
පෙම් රැහැනින් හද බඳිනා 

රුදු නොමිනිස් විස කටු ඇති 
නෙතු දහසකි තතු සොයනා 
මතු දිනයෙක ජය ගනු ඇති   
එක මග යන සඳ දෙදෙනා 


යනු එනු දැනේ




සිත පුරා සෝ දිය උනන 
හදවතක ගැඹුරින් ජනිත
උල්පතක් වී නොම සිඳෙන 
ගෙනේ නුඹ ලතැවුල් විපුල 

පැතූ සුපැතුම් මුල් සිඳී 
ලඟින් නැත නුඹ නතර වී 
ලසෝ දිය පිරි ගඟක් වී 
ගලා යයි නුඹ නොනැවතී

පතර විකසිත තුරු ලෙසේ 
ගිම් නිවන සිසිලස නොවේ
හමන මද පවනක් ලෙසේ  
වරින් වර යනු එනු  දැනේ



නුඹ





සිත් සයුර ඉම සදන
වෙරළක්   
දිවි කතර ගිම් නිවන 
වදුලක් 
ඉඩොරක දිය බිඳින 
ගඟුලක්   
හද ගැබ දිලේ නුඹ
තරුවක්  


Saturday, December 22, 2012

ලඟින් රැඳේ




නැගුණු පෙර දිනයේ  
කඳුළු බිඳු නයනේ 
හමන මුදු පවනේ 
සිසිල වී රැඳුණේ 

බිඳුණු හද අරණේ 
සෝ සුසුම් නැගුණේ 
සිහින මල් විමනේ 
කැකුලක් පිපුණේ 

සෙනේ සිත පිබිදේ 
නැතත් ළඟ සබඳේ 
පෙර මෙන්ම මහදේ 
රැඳේ නුඹ නිබඳේ



නුඹ අතරමං වෙලා




දිවිය මග කතරක  
සා පවස සිඳුවලා 
රූ මවා  මිරිඟුවක
නෙතු අතරමං කළා 

මියැසි මැද විකසිත 
නෙක මලින් සරසලා 
සිරි මවා උයනක 
සිත අතරමං කළා  

සමු නොදී පෙර දිනෙක
ගියත් සිත රිදවලා  
කිමද අද තනි මගක 
නුඹ අතරමං වෙලා



Wednesday, December 19, 2012

නැවතුම




නැවතුමක් සොයන සඳ 
සිතිජය ඉමව්වේ 
වෙහෙසුණු දෙනෙත් යුග 
නුඹ අසල නතර වේ 

ගිම්හලක සුව සොයන  
සරන සිත හිතුමතේ 
සැනින් එක්තැන් කරන 
ඉනාවකි නෙත නුඹේ 


අසම්මත පෙමක්





රුදු නෙතින් තතු සොයන 
ලොවකි අප වට සැදුන 
හලාහල විස රැඳුන 
කටු තුඩකි සිත් රිදන  

එක්ව යනු උරුම නැති 
මං පෙතකි මග වැසුණ  
නෙලා ගනු වරම් නැති 
මලකි කටු අග පිපුණ

විලක් නොව ළඟ රැඳෙන 
ගඟක් විය  ගලා යන
ලොවක් ගැරහුම් නගන  
පෙමකි හදවත සිඹින 


වෙන්ව යන හෝරාව




අත වනන දුම් වලලු  
දුක කියන රිය සියුරු 
නීල නෙතු පිරි කඳුළු 
සබැඳි මොහොතකි නපුරු 

කවුළුවෙන් නෙතු යොමන 
දුක්බරයි ඔය උවන
දැන් ලඟයි සමු ගන්න 
කඳුල මොහොතක් ඉන්න 

ප්‍රියේ තනි නොදැනෙන්න 
මසිත අරගෙන යන්න 
යලිදු එනතුරු ඉන්න 
සුවඳ මට දී යන්න 



Sunday, December 9, 2012

සඳක් සහ සිතක්




සැලෙන නෙතු මැදියම් රැයේ
සොයයි ලෙන්ගතු රුව නුඹේ  
සිනාසේ සඳ මේ රැයේ 
සරදමක් සඟවා මුවේ 

දිලෙන දිය මත සඳවතේ 
ලප පලුදු ඇත සැඟවිලා 
සැලෙන සිතිවිලි හිතුමතේ 
කටුක රහසක සිරවෙලා 

නැගී බිදිමින් වළා කඩතිර
සඳක් නුබ හිනැහේ 
මුදාහල සඳ රුදුරු ගනදුර 
සිතක් මතු සැනසේ  

Tuesday, December 4, 2012

සිත කොහේද තනි වෙලා




බින්දු බින්දු පිනි ලිය මත
රටා අඳිනවා 
ඈත ලන්ද කසාවතින් 
අරුණ දිලෙනවා 
සිහින පිරුණු අතීතයට 
සිත ඉගිලෙනවා 
ලන්ද දිගේ නුඹත් එක්ක  
පිය මැන යනවා 

ඉපනැල්ලේ වෙල් එළියේ 
මතක සුවඳ හැංගිලා 
නුඹයි මමයි ගැයූ ගී පද 
මද පවනේ දැවටිලා 
සුදු මැණිකේ නමින් ලියු 
කවි පදයෙක සැඟවිලා 
සොඳුරු ලොවක අතීතයේ 
සිත කොහේද තනි වෙලා 

බෝ මළුවේ සුදු වැලි මත 
පත් දහසක් විසිරිලා 
හමු විමක අනියත බව 
කියයි කනට කොඳුරලා 
මල් සුවඳින් සිත පිරුණා 
නුඹේ සුවඳ මුසු වෙලා 
සුවඳේ දුරක ගොසින් 
සිත කොහේද නැවතිලා